වෙනස් කියවීමකට

‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ – ශ‍්‍රී ලාංකේය ළමා කතා ක්ෂේත‍්‍රයේ නවමු නැමියාවක්….ග‍්‍රන්ථය : සීයා නටනවා අමුතුම නැටුමක්ශානරය : ළමා කතාකර්තෘ : චම්මි ඉරේෂාචිත‍්‍ර : වනමලීප‍්‍රකාශනය : කර්තෘ ප‍්‍රකාශනයකි.හැඳින්වීම‘‘ළමා කතාවක් කීමේදී සරල භාෂාවක් නොව අලංකාර භාෂාවක් භාවිත කළ යුතුය’’ යන තැන් සිට මෙය අරඹමි. මන්ද යත් හොඳ පාඨකයකු බිහිවීමේ පළමු පියවර ළමා කාලයේ අප ඇසූ, කියැවූ (අලංකාර භාෂා භාවිතයක් සහිත) ළමා කතා හරහා නොදැනුවත්වම හෝ තැබී ඇති බැවිනි. බොහෝ අය සිතන්නේ ළමා කතා රචනය යනු ලෙහෙසි පහසු කටයුත්තක් බවයි. අපට අද ලාංකේය සමාජයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ රෑට ළමා කතාවක් ලියා, පරිගණකයෙන් චිත‍්‍ර ඇඳ උදේට මුද්‍රණය සඳහා ලබා දෙන ලේඛක ලේඛිකාවන් සිටින බවයි. එය කෙතරම් හානිකර වී ඇද්දැයි යන්න අපේ බාල පරම්පරාව ළමා පොතපතින් දුරින් දුරට යන ශීඝ‍්‍රතාව විමසා බැලීමේදී පෙනේ. සැබැවින්ම ළමා කතාවක් රචනා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය නිර්මාණාත්මක පක්ෂයේ සිට විශ්ලේෂණාත්මක පක්ෂය වෙත යන ගමනකි. සාමාන්‍යයෙන් වැඩිහිටි සාහිත්‍යයේදී අපට දක්නට ලැබෙන්නේ නිර්මාණාත්මක පක්ෂයට වැඩි ඉඩක් ලබා දීමයි. ළමා කතාවක් රචනා කිරීමේදී අදහසක් අත්පත් කර ගැනීම යන ආරම්භක පියවරේදී නිර්මාණාත්මක පක්ෂයට වැඩි ඉඩක් ලැබුණත් ලිවීම, සංස්කරණය, කටු සැකිල්ල හරහා චිත‍්‍රකරණය වෙත ප‍්‍රවිෂ්ට වන විට එය විශ්ලේෂණාත්මක බවට නැඹුරු වීම දැකගත හැක. ලෝක ළමා කතා සාහිත්‍යයේදී මෙම විශ්ලේෂණාත්මක බව දැඩිව දක්නට ලැබුණත්, ලාංකේය ළමා කතා සාහිත්‍යයේදී මේ කරුණ කෙතරම් දුරට උපයුක්ත කර ගෙන තිබේද යන්න විමසා බැලිය යුතු කරුණකි. මෙම ලිපියෙහි මුඛ්‍ය අරමුණ චම්මි ඉරේෂාගේ ‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ ළමා කෘතියෙහි විශ්ලේෂණාත්මක බව උපයුක්ත කරගෙන තිබෙන ආකාරය පිළිබඳ විමසා බැලීමයි.විග‍්‍රහයපොතේ පිටකවරයේ සිටම වෙනසක් ඇති පොතක් ලෙස මෙම ළමාකතාව හැඳින්විය හැක. ‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ පොතේ නම කියැවූ සැණින්ම ඉතා ඉක්මනින්ම පොත කියැවීමේ කුතුහලයක් ඇති වේ. මුල් පිට චිත‍්‍රය මගින් එම කුතුහලය තීව‍්‍ර කරන අතර, එහි සිටින සීයා සාමාන්‍ය අපේ සමාජයේ සිටින සීයාගෙන් එහා ගිය කෙනෙකි. ඔහු බූට් සපත්තු පැලඳගෙන නැටුමක් නටන ආකාරය දිස්වේ. එ් නැටුම දෙස පුදුමයෙන් බලා සිටින ආච්චි අම්මාද පසෙකින් සිටී. සුදු පසුබිමක පින්සලෙන් ඇඳි රාමුවක් තුළ ඇඳි මේ අපූරු සිතුවමට උඩින් පොතේ නම අතින් ලියූ අකුරින් සටහන්ව ඇත. මේ සියල්ලෙහිම සංකලනය ළමා පාඨකයා ඇද බැඳ ගැනීමෙහිලා සමත් වන බව මගේ අදහසයි. එමෙන්ම පිටකවරයෙහි පාඨකයාගේ වයස් කාණ්ඩය සඳහන් කර තිබීමත් විශේෂ දෙයකි. ලෝක ළමා සාහිත්‍යයෙහි ඉලක්ක පාඨක වර්ගයා සඳහන් කර තිබුණද අපේ සාහිත්‍යයෙහි මෙය දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. එසේ වයස් කාණ්ඩය සඳහන් කර තිබුණද මෙය ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට රසවිඳිය හැකි කෘතියක් බව ද නොකියාම බැරිය. මෙහි ඇත්තේ ඉතාම සරල කතාවකි. සීයා කෙනෙකු මුහුණපාන අකරතැබ්බයක් හරහා මුළු ගමක්ම මුහුණපාන අකරතැබ්බයක් කතා තේමාව කරගෙන ඇත. වඩාත් වැදගත් වන්නේ එම තේමාව ඉදිරිපත් කරනු ලබන ආකාරයයි. චිත‍්‍ර හා මනාව බද්ධ වෙමින් කතාව ගොඩනඟා තිබේ. එහිදී කතාව ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇති අලංකාර භාෂා භාවිතය කැපී පෙනේ. ළමා කතාවක් කීමේදී සරල භාෂාවක් නොව අලංකාර භාෂාවක් භාවිත කළ යුතුයැයි මා මුලදීම සඳහන් කළේ එබැවිනි. අවුරුදු 6-10 වයස් කාණ්ඩයේ ළමුන්ට වඩාත් යෝග්‍ය වන ගීතවත් බස්වරහක් මෙහි උපයුක්තය. එමෙන්ම කතාව කුළු ගැන්වෙන චිත‍්‍රකරණයක්ද උපයුක්තය. පිටු 18 ක් පුරා දිවෙන කතාවකි. කතාව අවසානයේ පාඨකයාට මේ කතාව හරහා නව නිර්මාණයක් කිරීමේ අවස්ථාවක්ද ලබා දී ඇත.ඇගයීමමෙතෙක් කලක් අප කියැවූ ලාංකේය ළමාකතාවලට වඩා බෙහෙවින් ඉදිරියට ගොස් කළ නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය අගය කළ හැක. සැබැවින්ම ශ‍්‍රී ලාංකේය ළමා කතාවේ නවමු නැමියාවක් ලෙස ‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ කෘතිය හැඳින්වූයේ නැතිනම් එය කුහකකමකි. එයට හේතු දෙකකි. එකක් නම් මෙම කෘතිය ‘‘ආදර්ශ නැතිනම් උපදේශ’’ ලබා දීමේ අරමුණෙන් ඔබ්බට ගොස් ‘‘රසාස්වාදය’’ නැංවීමේ ළමා කෘතියක් යන තැන්හි රැඳී සිටීමයි. දෙවනුව, හැඳින්වීමේදී මා සඳහන් කළ නිර්මාණාත්මක පක්ෂයේ සිට විශ්ලේෂණාත්මක පක්ෂය දක්වා යම්කිසි අදහසක් ගෙන ගොස් කළ සාර්ථක නිර්මාණයකි. මෙම දෙවන කරුණ පිළිබඳ තවදුරටත් සාකච්ඡුා කළ යුතුය. සාමාන්‍යයෙන් ළමා කතාවකදී කතා වස්තු සැලැස්ම හෙවත් Plot Diagram යන්න ලෝකයේ බෙහෙවින් භාවිත කරන ක‍්‍රමවේදයකි. දිනෙන් දින ලංකා ළමා කතා සාහිත්‍යයට ළමාකතා දස දහස් ගණනින් එක්වූවද මෙම ක‍්‍රමවේදය භාවිත කරමින් රචිත කතා අපට දක්නට ලැබෙන්නේ ඉතා සුළුතරයකි. එහිදී කථාවස්තුව යනු සංවිධානාත්මක රටාවක් හෝ සිදුවීම් පෙළක් එක් කර ගොඩනැගෙන කතාවයි. සෑම කතාවස්තුවක්ම එකකට එකක් බද්ධ වූ සිද්ධි දාමයකින් නිර්මිතය. කතාවස්තු සැලැස්ම කොටස් 5 කින් ගොඩනැඟී ඇත. (1) විවරණය / ප‍්‍රකාශනය එනම් කතාවේ පසුතලය, පසුබිම පිළිබඳ දැක්වීමකි. මෙහිදී ප‍්‍රධාන ගැටුම හෝ ගැටලූව හඳුන්වා දීම සිදුවේ. මෙම කතාවේ පළමු පිටු දෙක වෙන්කෙරී ඇත්තේ මෙම ගැටලූව ප‍්‍රකාශ කිරීම සඳහාය. (2) ක‍්‍රියාවේ නැග්ම ගැටුම හෝ ගැටලූව ආරම්භ වන කොටස වේ. එහිදී රසවත් බව හා කුතුහලය ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. මෙම කතාවේ පිටු අංක 6 සිට සිට 15 දක්වා කතාවේ නැග්ම දක්නට ලැබේ. (3) ශිඛරය / උච්චතම අවස්ථාවමෙය කතාවේ හැරවුම් ලක්ෂයයි. ප‍්‍රධාන චරිතය ගැටුම / ගැටලූව හා මුහුණට මුහුණ හමුවන අවස්ථාවයි. ප‍්‍රධාන චරිතය එතෙක් මුහුණ දුන් ආකාරයට වඩා වෙනස්ව හැසිරේ. මෙම කතාවේ 16 පිටුවෙන් එම අවස්ථාව දැක්වේ. (4) ක‍්‍රියාවේ බැස්ම / නිරාකරණයකතාවේ උච්චතම අවස්ථාවේ ක‍්‍රියාත්මක වීම හරහා ලැබුණු ප‍්‍රතිඵලයයි. නැතිනම් ගැටලූවට විසඳුමක් ලැබීම හෝ ගැටුම නිරාකරණය වීමයි. මෙම කතාවේ 17 පිටුවෙන් එම අවස්ථාව දැක්වේ. එය ළමා පාඨකයා තුළ හාස්‍යය නොඅඩුව මතු කරන ලෙස රචනා වී තිබීම ප‍්‍රශස්තය.(5) ඵලාගමනයකථාව සාධාරණ අවසානයකට ගෙන එ්මයි. මෙම කතාවේ 18 පිටුවෙන් ඉතාම සාධාරණ අවසානයක් කරා කතාව මෙහෙයවා ඇත.එමෙන්ම මෙම කතාවේදී සංස්කරණය යන කරුණද දැඩිව කැපී පෙනේ. ලංකාවේ කතාවල ඉතාම අවම වශයෙන් දක්නට ලැබෙන දෙයකි මෙම සංස්කරණය යන්න. මෙම කෘතියෙහි අනවශ්‍ය එකදු වචනයක් හෝ දක්නට නැත. ප‍්‍රධාන චරිතය, අනු චරිත හා චරිතවල ගතිලක්ෂණ යනාදී සියල්ලම එළිදරව් කරන්නේ වචනවලින් නොව චිත‍්‍රවලිනි. කතාවට චිත‍්‍රවලින් දැඩි ආලෝකයක් ලැබී ඇත. චිත‍්‍රවලට කතාවෙන් ආලෝකයක් ලැබී ඇත. ගීතවත් බස් වහර හා කතා කරන චිත‍්‍ර කතාවට ජීවයක් එක් කර ඇත. මෙම කතාව බැලූ සැණින් පෙනී යන්නේ රචිකාව හා චිත‍්‍රශිල්පිනිය අතර අන්‍යෝන්‍ය අදහස් හුවමාරුවකින් ඉතා කැපවීමෙන් කළ නිර්මාණයක් බවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ කෙනෙක් ළමාකතාවක් රචනා කර එය ගෙන ගොස් ‘‘මෙන්න මේකට චිත‍්‍ර ටිකක් ඇඳලා දෙන්න’’ කියමින් චිත‍්‍රශිල්පියෙකුට ලබා දීම හා චිත‍්‍රශිල්පියාගේ කැමැත්තට අනුව චිත‍්‍ර නිර්මාණය කර දීමයි. මෙම කතාවේ විශ්ලේෂණාත්මක පක්ෂය දැඩිව මතුවන්නේ මෙම අදහස් හුවමාරුව හරහා බව මගේ හැඟීමයි. එමෙන්ම කතාවේ පඨිතය මෙන්ම චිත‍්‍ර හරහා ද කුතුහලය හා හාස්‍යය මතු කිරීම ඉතාම ප‍්‍රශංසනීයය. අවසන් කියවීම‘‘උපදේශය අබිබවා රසාස්වාදනය මතු කරන ළමා කෘතියක්’’ ලෙස ‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ කෘතියට විශේෂ ස්ථානයක් හිමි වේ. මෙම රසාස්වාදනය මතු කිරීම ඉතාම වැදගත් කරුණකි. මන්දයත් එ් හරහා අපේ අනාගත පාඨක පිරිස ගොඩනැෙඟන බැවිනි. අපේ දරුවන් ළමාකතාවලින් ඈත්වන්නේ එ් හරහා ද උපදේශ / ආදර්ශ දීමට යාම නිසා යැයි මගේ පෞද්ගලික මතයකි. පාසල්, දහම්පාසල් හරහා මෙන්ම නිවසේදී වැඩිහිටියන් අතින් කෙරෙන්නේ හැමවිටම දරුවා හොඳ මගට ගැනීම සඳහා උපදේශ දීමයි. ළමාකතා හරහාද මේ කාර්යයම කිරීමේදී දරුවාට එහි අලූත් බවක් නැත. එපාවීමක් සිදුවේ. එමෙන්ම ඉතා උසස් චිත‍්‍රකරණයක් ද මෙහි දක්නට ලැබේ. චිත‍්‍ර කියැවීම යනු ලංකාවට තවමත් ආගන්තුක දෙයක් වී තිබේ. පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ළමා කතාවක් ලබා දුන් විට කරනුයේ හුදෙක් පඨිතය කියවීම පමණකි. චිත‍්‍ර කියවීම යනු හුරුපුරුදු කළ යුතු දෙයකි. එ් සඳහා මූලික අභ්‍යාස ලැබෙනුයේ ළමා කතා හරහාය. නමුත් අවාසනාවකට ලංකාවේ ළමා කතාවල චිත‍්‍ර කියවීම සඳහා වැඩි ඉඩප‍්‍රස්තාවක් ලබා දී නැත. එකම චිත‍්‍රය ළමාකතා කිහිපයක දක්නට ලැබෙන අවස්ථා ද ඇත. පරිගණකයෙන් නිමවා ඇති චිත‍්‍ර, ගැළපෙන කතා කිහිපයකට යොදා ගනී. වයස අවුරුදු 6-10 වයස් කාණ්ඩයේ දරුවන්ට ඉතාම ගැළපෙන පොතක් ලෙස මෙය නිර්දේශ කළ හැක. පොතෙහි මිල නොසලකා තම දරුවන්ට කියවීමට උසස් පොත් ලබා දීමට දෙමාපියන් උත්සුක විය යුතුය. වර්තමානයේ බොහෝ විට රු. 100 ට පොත් 4ක්-5ක් විකිණීමට ඇති නිසා එවන් පොත් තම දරුවන්ට රැගෙන යාම දැක ගත හැක. නමුත් එ්වායේ සාහිත්‍යමය අගය පිළිබඳ විශාල ගැටලූ පවතී. එනිසා හොඳ පොතක් තෝරා තම දරුවන්ට ලබා දීමේ වගකීම දෙමාපියන්ට පැවරෙන අතර, එය අනාගතය සඳහා ආයෝජනයක් වන බවද වටහා ගත යුතුය.ජයලිය ජීවන්ති ජයසේකර(උපගුරු / ලේඛිකා)(PGD in Ed.(Colombo), B.A. (J’pura),

Leave a Reply

Your email address will not be published. Required fields are marked *